CivilPoliceCriminal

නඩුවක දී හමුවන සාක්ෂිකරුවන් හඳුනාගනිමු

Lexelon3 min read
Lexelon blog image

නඩු විභාගයකදී සාක්ෂි මෙහෙයවීම ඉතා වැදගත් ස්ථානයක් හිමි කරගනියි. මෙහිදී කරුණු තහවුරු කිරීම සඳහා නීතීඥවරුන් විසින් උපක්‍රමිකව විවිධ සාක්ෂිකරුවන් අධිකරණය ඉදිරියට කැඳවනු ලැබේ. ඒ අතර ඇසින් දුටු සාක්ෂිකරුවන්, විශේෂඥ සාක්ෂි කරුවන්, කරුණු තහවුරු කරන්නාවූ සාක්ෂිකරුවන් , චරිත සහතික කරන්නාවූ සාක්ෂිකරුවන් සිටින බව පෙන්වා දිය හැකිය. ඇසින් දුටු සාක්ෂිකරුවන් වනාහි යම් අපරාධයක් හෝ වෙනත් සිදුවීමක් සිදුවන ස්ථානයේ සිටීම මගින් එම සිදුවීම දැකීම නිසා ඒ පිළිබඳ අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙනු පිණිස කැඳවනු ලබන තැනැත්තන් වේ. මීට අමතරව සම්බන්ධිත වෙනත් කරුණු ඔප්පු කිරීමටද ඒවා සිය පංච ඉන්ද්‍රියන්ට ග්‍රහණය වූ සාක්ෂිකරුවන් කැඳවනු ලැබේ.

යම් අපරාධයක් හෝ වෙනත් කරුණ ක් පිළිබඳ සිය දැනුම මෙහෙයවා අධිකරණය දැනුවත් කරන්නා වූ සාක්ෂිකරුවන් විශේෂඥ සාක්ෂිකරුවන් වේ. අපරාධය සිදුවෙන ස්ථානයේ නොසිටිය ද එය සැබැවින්ම දෑසින් නොදුටුව ද විශේෂඥ සාක්ෂිකරුවන් ගේ මතය පිළිගැනීමට අධිකරණය බොහෝවිට කටයුතු කරනු ලබයි.නමුත් එම මතයට පටහැනිව යමක් ඔප්පු කිරීමෙන් එසේ පිළිගැනීම වළක්වාලීමේ හැකියාවක් ද ඇත. යමෙකුගේ චරිත ස්වභාවය පිළිබඳව සාක්ෂි ලබාදීම සඳහා කැඳවනු ලබන තැනැත්තන් චරිතය පිළිබඳ සාක්ෂි ලබා දෙන සාක්ෂිකරුවන් ලෙස වර්ග කළ හැකි වේ. කරුණක් පමණක් තහවුරු කරගැනීම සඳහා විවිධ පිරිස් ද සාක්ෂිකරුවන් ලෙස අධිකරණයට කැඳවේ. විශේෂයෙන්ම රජයේ ආයතනවල හෝ බැංකුව ආදී වෙනත් ආයතනවල නිලධාරීන් මෙලෙස කැඳවනු ලබයි.

මීට අමතරව සාක්ෂි මෙහෙයවීමේදී පක්ෂපාතී සාක්ෂිකරුවන් ලෙස හැඳින්විය හැකි සාක්ෂිකරුවන් ප්‍රභේදයක් දක්නට ලැබේ. මොවුන් විසින් තමන් සාක්ෂි දෙනු ලබන පාර්ශවයට වාසි සහගත වන අන්දමට සාක්ෂි ලබා දෙනු ලබන අතර මෙවැනි සාක්ෂිකරුවන්ගේ සාක්ෂිය විශ්වාසය තැබිය නොහැකි සාක්ෂි ගණයට අයත් වේ. ඊට හේතුව ලෙස යම් සාක්ෂිකරුවෙක් අපක්ෂපාතී සහ සිදුවීම හෝ අදාළ කරුණ පිළිබඳ අතිශය සත්‍ය පමණක් ප්‍රකාශ කළ යුතු වීමයි.ඊටම සමාන ප්‍රතිලාභී සාක්ෂිකරුවන් නඩුවේ යම්කිසි පාර්ශවයක ජයග්‍රහණය හෝ පරාජය තමාට ප්‍රතිලාභයක් අත්කර දෙන බැවින් එම ප්‍රතිලාභය ලබා ගැනීමේ අරමුණින් සාක්ෂි දෙනු ලබයි. මෙහිදී සත්‍ය යටපත් වීමට ඇති අවස්ථාව ඉතා වැඩිය. එම නිසා එවැනි සාක්ෂිකරුවන්ගේ සාක්ෂියද විශ්වාස තැබිය යුතු නොවන සාක්ෂි වර්ගයක් ලෙස සැලකේ.

තමාට විරුද්ධව සාක්ෂි දෙන ලද සාක්ෂිකරුවන්ගේ විශ්වාසදායක බවට දොස් තැබීමට හෙවත් මෙම සාක්ෂිකරුවන් විශ්වාස කළ යුතු නොවන බවට ප්‍රති සාක්ෂි සැපයීම හෝ වෙනත් කරුණු මත ඔප්පු කිරීම අදාල නීතිඥවරුන් විසින් නිසි පරිදි කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සිදු කළ යුතු වේ. කෙසේ නමුත් යම් දිනක ඔබට ද අධිකරණයේ නඩු කටයුත්තක සාක්ෂිකරුවෙකු වීමට සිදුවුවහොත්, දිව්රුම් මත ලබා දෙනු ලබන එම සාක්ෂි වලදී තමා සැබැවින්ම දන්නා කරුණු පමණක්, අතිශයෝක්තියෙන් හා වෙනත් අංගෝපාංග ඇතුළත් කිරීමෙන් තොරව සත්‍යවාදී ලෙස ලබාදීමට කටයුතු කරන මෙන් අවාවාද කටයුතු ය.

Related Articles