CivilProperty and LandFamily

දික්කසාද නඩුවක් අතරතුර බිරිඳ සැමියාගේ නිවසින් පිටවිය යුතු ද?

Lexelon3 min read
Lexelon blog image

මේ පිළිබඳ නීති තත්ත්වය විමසීමේදී කනකරත්න එ. කනකරත්න 71 NLR 522 නඩුව වැදගත් වේ.

මෙම නඩුවේ අභියාචක හා වගඋත්තරකාරිය 1950 දී විවාහ වී 1954 තෙක් එකම නිවසේ ජීවත් විය. ඉන්පසුව සිය බිරිඳ ද්වේශසහගත ලෙස හැර ගිය අභියාචක තවමත් වෛවාහක නිවසේ දිවි ගෙවන භාර්යාව එයින් ඉවත් කිරීමේ උත්සාහයක යෙදුනි. 1956 දී දික්කසාද නඩුවක් පැවරූ අතර 1963 වර්ෂයෙහි මෙම නඩුව පවරන විටත් දික්කසාද නඩුවෙන් ලැබී තිබුනේ නෛසයි ආඥාව පමණි. එනම් අවසානාත්මක දික්කසාද නියෝගයක් ලැබී නොතිබුන නිසා ඔවුන් දෙදෙනා ඒ වන විටත් නීතිය ඉදිරියේ ස්වාමි පුරුෂයා සහ භාර්යාව විය.

අභියාචක වෙනුවෙන් ඉදිරිපත් කළ තර්කය වූයේ වගඋත්තරකාරිය එම නිවසේ රැඳී සිටින්නේ අභියාචක හෙවත් සැමියාගේ අනුමැතිය මතබවත් ඕනෑම මොහොතක එම අයිතිය නැවත පවරා ගැනීමට තමාට හැකියාවක් ඇති බවත්ය.

ඒ අනුව කරුණු සලකා බැලූ අධිකරණය, භාර්යාවක් නිවසේ රැඳී සිටීම ස්වාමියාගේ අවසරයකින් සිදුවන්නක් නොව, විවාහය තුළින් පැන නගින අයිතියක් මත සිදුවන්නක් බව ප්‍රකාශ කළ අතර, ස්වාමියා සිය නිවසේ රැඳී සිටීමේ වගකීම පැහැර හැරීම යන කරුණ මත ඇයගේ එම අයිතියට බාධාවක් නොවන බව තීන්දු කරන ලදී. තමා විසින් කෙරුණු වරදක් මත තමාට පැවරී ඇති වගකීමෙන් ගැලවිය නොහැකිය යන මූලධර්මය ඉහත තීන්දුවට මුල් වී තිබේ.

රෝම ලන්දේසි නීතිය අනුව ද විවාහක පුරුෂයෙකු ට තම බිරිඳට වාසස්ථාන ආහාර සහ ඇඳුම් පැළඳුම් ගේදොර අවශ්‍යතා මෙන්ම සෞඛ්‍ය සේවාවන් යන ආදීය සපයාදීමේ වගකීමක් ඇති බව පිළිගනී. එම කරුණුද මෙම නඩුවේදී අධිකරණය විසින් අවධානයට ගෙන ඇත.

Related Articles