ගිවිසුමක් වලංගු වීම සඳහා අත්‍යවශ්‍ය අංග
ගිවිසුමක් යනුවෙන් සරලවම දෙපාර්ශවයක් අතර හෝ පාර්ශව කිහිපයක් අතර සිදුවන්නාවූ එකඟතාවයක් දැක්විය හැකි වුවත් නෛතික වශයෙන් ගිවිසුමක් ඇති වීම සඳහා සපුරාලිය යුතු අංග කිහිපයක් තිබේ. එකී අංග සම්පූර්ණ නොවූ කල වලංගු ගිවිසුමක් ඇති බවට නොසැලකේ. එම නිසා මුලින් මෙම අංග මොනවාදැයි විමසා බලමු.
- අර්පණය (offer)
- ප්‍රතිග්‍රහණය (acceptance)
- නෛතික සම්බන්දතා ඇතිකිරීමේ චේතනාව
- සාධාරණ හේතුවක් හෝ අගනා ප්‍රතිෂ්ඨාවක් තිබීම
- ගිවිසුම නීත්‍යානුකූල වීම
- ගිවිසුමේ පාර්ශ්වකරුවන් ගිවිසුම් සඳහා ශාක්නුතාවකින් (competence) යුක්ත වීම.
- ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව
මුලින්ම අර්පණයක් යනු කුමක්දැයි විමසා බලමු. ඉංග්‍රීසි පදය වන ' offer ' යන පදය සමාජයේ වැඩි වශයෙන් භාවිතා වන බැවින් එමගින් අර්පණය යනු කුමක්දැයි ඔබට සරල අදහසක් ඇති වනු ඇත. අර්පණයක් හෙවත් ඔෆර් එකක් නිශ්චිත පුද්ගලයෙකුට හෝ පුද්ගල පන්තියකට හෝ පොදුවේ මහජනතාවට සිදු කළ හැකි බව නීතියෙහි පිළිගැනේ. නිශ්චිත පුද්ගලයකු වෙත කරන ලද අර්පණයක් හෙවත් ඔෆර් එකක් එම පුද්ගලයා විසින්ම ප්‍රතිග්‍රහණය කළ යුතු වේ. පුද්ගල පන්තියකට හෝ මහජනතාව වෙත කරන ලද අර්පණයක් එම ජනතාව අතරින් කවරෙකු හෝ විසින් ප්‍රතිග්‍රහණය කල හැකිය.
ඒ අනුව ගිවිසුමක් ඇති වීම සඳහා පැහැදිලි අර්පණයක් සහ ප්‍රතිග්‍රහණයක් තිබිය යුතුය. යමෙකු විසින් ඔෆර් එකක් සිදුකර ඇති විටදී ප්‍රතිග්‍රහණය නොකර වෙනත් කොන්දේසි ඉදිරිපත් කිරීම හරස් අර්පණය ලෙස සැලකේ. මෙබඳු අවස්ථාවක දී හරස් අර්පණය ප්‍රතිග්‍රහණය කිරීමට මුල් අර්පණය සිදුකළ පාර්ශවයට හැකියාව ඇත.
අර්පණයක් සිදුකර ඇති විටදී එය ප්‍රතිග්‍රහනය කිරීමට පෙර අවසන් වන ආකාර ද තිබේ. ඒවා පහත පරිදිය.
- ප්‍රතිග්‍රහණය කිරීමට පෙර අර්පණය සිදුකළ තැනැත්තා හෝ අර්පණ ලාභියා මියයාම
- සාධාරණ කාලයක් තුළ අර්පණය ප්‍රතිග්‍රහණය නොකිරීම
- ප්‍රතිග්‍රහණය ට පෙර ඉල්ලා අස්කර ගැනීම.
- අර්පණලාභියා විසින් ප්‍රතික්ෂේප කිරීම.
කෙසේ වෙතත් අර්පණ සිදුකල යුත්තේ නෛතික වශයෙන් හෝ ක්‍රියාත්මක කර ගැනීමේ අරමුණු සහිතව ය. ඒ හැර විහිලු පිණිස සිදු කරනු ලබන නොයෙක් එකගතා හෝ ඉල්ලීම් වැනි දෑ වලංගු ගිවිසුමක් ඇති කරන බවට නොසැලකේ. එසේම වලන්ගු ගිවිසුමක් ඇති වීමට නම් ගිවිසුමෙහි පාර්ශව ගිවිසුම් ඇති කර ගැනීමට හැකියාව ඇතැයි සැලකෙන වයස්වල සිටිය යුතුය. ඒ හැර බාලවයස්කරුවන් විසින් නිසි පරිදි අවසර නොගෙන ගිවිසුම් වලට එළැඹ ඇති විට ඒවා ද වලංගු ලෙස නොසලකනු ලබයි. එසේම ක්‍රියාත්මක කළ හැකි හෝ ක්‍රියාත්මක කරවා ගත හැකි ඕනෑම ගිවිසුමක් නීත්‍යනුකූල විය යුතු බව අත්‍යවශ්‍ය කරුණකි.
අගනා ප්‍රතිෂ්ඨාව හෙවත් මුදලින් ගණනය කළ හැකි දීමේ හා ගැනීමේ අවශ්‍යතාවය ඉංග්‍රීසි නීතිය පදනම් වන ගිවිසුම් වල අත්‍යවශ්‍ය අංගයකි. රුපියල් ලක්ෂයක වටිනාකමින් යුත් ඉඩමක් සිරිපාල විසින් ගුණපාලට විකුණන අවස්ථාව උදාහරණ කොට ගනිමු. මෙහිදී සිරිපාලට රුපියල් ලක්ෂයක් ලැබෙන අතර ගුණපාලට රුපියල් ලක්ෂයක වටිනාකමින් යුත් ඉඩමක් ලැබේ. මෙහිදී ප්‍රතිෂ්ඨාව රුපියල් ලක්ෂයක් වෙයි. රෝම ලන්දේසි නීතියේ දී එබඳු වූ විශේෂ මූල්‍යමය වටිනාකමක් රහිත වුවද සදාචාරාත්මක වගකීම් මත සකස්වන සාධාරණ හේතු ද ගිවිසුම් ඇති කර ගැනීම සඳහා මූලික කොට ගත හැකි බවට සැලකේ.
ඇතිකරගන්නා ගිවිසුම් ක්‍රියාත්මක කළ හැකි වේවා විය යුතු බව නීතියෙහි පිළිගැනීමයි. නිමල් විසින් හඳෙන් සහල් ගෙනැවිත් කිලෝවක් රුපියල් සියය බැගින් ලබා දිය හැකි බවට අර්පනය කරයි. සුනිල් විසින් ප්‍රතිග්‍රහණය කරයි. එසේ වුවද ගිවිසුමෙහි රය ක්‍රියාත්මක කළ නොහැකි එකක් වන බැවින් වලන්ගු ගිවිසුමක් ලෙස සැලකිය නොහැකිය.
එමනිසා වලංගු ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා කෙබඳු අවශ්‍යතා තෘප්ත විය යුතුද යන්න ඉහත කරුණු අනුව අවබෝධ කරගත හැකි වේ.
