ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම මත ඔබට හිමිවන මූලික අයිතිවාසිකම්

මෙලොව මනුෂ්‍යයෙකුව ඉපදීම නිසා යමෙකුට අහිමිවන අයිතිවාසිකම් මානව හිමිකම් ලෙස හඳුන්වනු ලැබේ. ඊට සමගාමීව රටේ උත්තරීතර නීතිය ලෙස හැඳින්වෙනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රටේ පුරවැසියන්ට හිමි විය යුතු මූලික අයිතිවාසිකම් පිළිබඳ එහි තුන්වන පරිච්ඡේදයෙන් ප්‍රතිපාදන සපයා ඇත. ඒ ගැන තව දුරටත් විමසා බලමු.
විධායක හෝ පරිපාලන ක්‍රියාවලට එරෙහිව පමණක් මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කළ හැකි වේ. රාජ්‍ය මැදිහත්වීමක් නොමැති නම් පෞද්ගලික පුද්ගලයින්ට එරෙහිව බලාත්මක කළ නොහැක.
ව්‍යවස්ථාදායකය විසින් නීති පැනවීමේදී ද විධායකය විසින් රාජ්‍ය පාලනයේ දී ද මෙම ව්‍යවස්ථා පිළිබඳ අවබෝධයකින් යුතුව ඒවා උල්ලංඝනය නොවන පරිදි කටයුතු කළ යුතු බවට බලාපොරොත්තු වේ.
ඊට අනුව සෑම තැනැත්තකුම සිතීමේ නිදහස,හෘදය සාක්‍ෂියේ නිදහස සහ ආගමික නිදහස හෙවත් සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළද ගැනීමේ නිදහසද, ලබ්ධියක් /විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතීමේ නිදහසට සහ, ආගමික නිදහසට හිමිකම් ඇත්තේය. මේ පිළිබඳව 10 වන ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇත.
11 වන ව්‍යවස්ථාව මගින් කිසිම තැනැත්තකු වධහිංසා වලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුතු බවට ප්‍රතිපාදන සලසා ඇත.
12 වන ව්‍යවස්ථාව අනුව,
- සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම හෙවත් නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුතුය.
- කීසිම පුරවැසියකු ජනවර්ගය,ආගම,භාෂාව,කුලය,ස්ත්‍රී පුරුෂ භේදය,දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය.
- වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත්‍රී පුරුෂ භේදය යන හේතුන් මත හෝ ඉන් කවරහෝ හේතුවක් මත හෝ වෙළඳසල් වලට, පොදු භෝජනාගාරවලට, ආපනශාලාවලට, පොදු විනෝද ස්ථානවලට හෝ තම තමන්ගේ ආගමට අයත් පොදු පුජනීය ස්ථානවලට ඇතුල්වීම සම්බන්ධයෙන් යම් ආශාක්නුතාවයකට, බැඳීමකට, සීමාකිරීමකට නැතහොත් කොන්දේසියකට කිසිම තැනැත්තෙක් යටත් නොවන්නේය.
13 වන ව්‍යවස්ථාව මගින් අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්,රදවා තබා ගැනීමෙන් සහ දඩුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම සඳහා අදාල ප්‍රතිපාදන සලසා ඇත.
14 වන ව්‍යවස්ථාව මගින් භාෂණයේ හෙවත් කතාකිරීමේ ,රැස්වීමේ,සමාගමයේ,රැකියාවේ සහ යාම්ඊම් යනාදියේ නිදහස තහවුරු කිරීමට උත්සහ ගෙන ඇත. එම ව්‍යවස්ථාවෙන් ම වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැදීමේ නිදහස තහවුරු කර තිබේ.
14 (අ) වන ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව විසින් නියාමනය කරනු ලබන නීති යටතේ තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිය සෑම පුරවැසියෙකුටම ඇත.
ඉහත මුලික අයිතිවාසිකම් ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ සදාචාරය, වාර්ගික හා ආගමික සහජීවනය, පාර්ලිමේන්තු වරප්‍රසාද, මහජන සෞඛ්‍යය සඳහන් කරුණු සඳහා සාධාරණ සීමාවන්ට යටත් වේ.
මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීම සම්බන්දව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුවක් හෝ මානව හිමිකම් කොමිසම සහ පාර්ලිමේන්තු කොමසාරිස් හෙවත් ඔම්බුඩ්ස්මන් වෙත පැමිණිලි කිරීමෙන් ප්‍රතිකර්ම ලබා ගත හැකි වේ.
