පීඩාකාරී විවාහයකින් මිදෙන්නේ කෙසේද ?
විවාහය සෑම ජනකොට්ඨාශයක් විසින්ම උතුම් බැඳීමක් ලෙස සලකයි. විවාහයක් සාර්ථකව පවත්වාගැනීමට එකිනෙකා කෙරෙහි ගෞරවය හා අවබෝධයක් තිබීම වැදගත් වේ. සමාජය සහ ජීවිතය පිළිබඳව ඇති අනවබෝධය නිසා බොහෝ දෙනෙක් නොගැලපෙන විවාහ බන්ධන වලට හසුවී දුක් විඳිති.
අතීතයට වඩා මෑත කාලයේ දික්කසාද නඩු බොහොමයක් දක්නට ලැබේ.ඒ අතරින් වැඩිදෙනෙක් වයස අවුරුදු 18 ත් 25 ත් අතර තරුණ තරුණියන් වීම කැපී පෙනේ. මෙම අවාසනාවන්ත තත්වයට හේතුව යොවුන් වියේ මුල් අවධියේ දී ඇතිවන විරුද්ධ ලිංගික ආකර්ෂණ තත්ත්වය ස්ථිර හැඟීමක් ලෙස ගෙන කටයුතු කිරීම බව කිව හැකිය. වයසින් වැඩෙත්ම පුද්ගලයින්ගේ රුචිකත්වය වෙනස්වීම හා සමාජ තත්ත්වය වෙනස් වීම යොවුන් වියේ සම්බන්ධතා දීර්ඝ කාලයක් නොපැවතීමට හේතු වී ඇති බව පෙනේ. අතීතයේ දී අඩු වයසින් සිදුවූ විවාහ කලක් පැවති බවට යමෙක් තර්ක කළ හැකි නමුත් එකල පවුලෙන් උරුම වන්නාවූ ජීවනෝපාය සහ අවම අවශ්‍යතා සහිත සරල ජීවන රටාව එකී විවාහ ස්ථාවරව පැවතීමට හේතු වූ බව කිව හැකිය. අද මෙන් නොව එකල පවුල් ජීවිත අවුල් කරන විෂ මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ලබාගැනීමට තිබුණේ නැත. කෙසේ වුවත් වර්තමානයේ ළමා වියේ සිට වැඩිහිටි තැනැත්තෙකු ලෙස සමාජයේ ස්ථාවර වීමට වැඩි කාලයක් ගත වේ. නූතනයේ බොහෝ තරුණ තරුණීහු අවුරුදු 25 සම්පූර්ණ වුවද ප්‍රධාන ලෙස ශිෂ්‍ය අවධියේ හෝ රැකියා විරහිතව පසු වන්නෝ වෙති.
මීට අමතරව මානුෂීය වටිනාකම් පසෙකලා වත්පොහොසත්කම් සහ වෘත්තීන් මූලික කරගනිමින් විවාහ බන්ධන වලට එළඹීම තවත් අසාර්ථක විවාහයන්ට මුල් වී තිබේ. මත්ද්‍රව්‍ය භාවිතය, දුප්පත්කම, නිසි අධ්‍යාපනයක් නොලැබීම, තාවකාලික හැඟීම් වලට වහල් වීම යනාදී කරුණු විවාහ සංස්ථා දෙදරා යාමට බහුලවම හේතු වන කරුණු ලෙස පෙන්වා දිය හැකිය.
කෙසේ වෙතත් සාමාන්‍ය පොදු විවාහ නීතිය යටතේ විවාහ වූ තැනැත්තන්ට දික්කසාද වීම සඳහා මුල් කර ගත හැකි හේතු ඇත්තේ තුනක් පමණි.ඒවා නම් විවාහයෙන් පසු අනාචාරය, විවාහ වන අවස්ථාවේ සිට පැවති සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාවය සහ ද්වේශ සහගත හැරයාම වේ. විවාහයක් තවදුරටත් පවත්වාගෙන යා නොහැකි අවස්ථාවක එයින් මිදීම ආරක්ෂාකාරී වන අතර එසේ නොවන අවස්ථා වලදී එක් අයෙක් අපරාධකරුවකු බවට පත් වී අනෙක් තැනැත්තා මරණය වැළඳ ගැනීමට පවා හැකියාවක් ඇති බව සමාජයීය සිද්ධි අධ්‍යයනයේ දී හෙළි වෙයි.
පවුල් ජීවිත ගත කිරීමේ දී මතගැටුම් ආදී දේ සාමාන්‍ය වන නමුත් අසාමාන්‍ය ලෙස ශාරීරික, මානසික හෝ ලිංගික වදහිංසාවලට ලක් කිරීම තුළ තවදුරටත් ජීවිත අවදානමක් සහිතව විවාහය පවත්වාගෙන යාම නිර්දේශ කළ නොහැකිය. මෙවැනි අවස්ථාවකදී ගත හැකි නෛතික පිළියම කුමක්ද යත් අනුමිත ද්වේශ සහගත හැරයාම යටතේ දික්කසාද නඩුවක් ගොනු කිරීම වේ. සාමාන්‍යයෙන් ද්වේශ සහගත හැර යාමේ දී වෛවාහක නිවස අතහැර යන පාර්ශවය විත්තිකාර පාර්ශවය ලෙස සලකයි. නමුත් අනුමිත ද්වේශ සහගත හැරයාමකදී වෛවාහක නිවස අතහැර යන ලෙස කටයුතු සලස්වන එනම් තාඩන පීඩන වලට ලක් කරන්නා වූ තැනැත්තා විත්තිකරු බවට පත්වේ.
විශේෂයෙන් මෙය ගෘහස්ථ හිංසන වලට ලක් වෙමින් දුක්ඛිත ජීවිතයක් ගත කරන්නා වූ කාන්තාවන් හට එයින් මිදීමට අවස්ථාවක් වේ. අධිකරණය විසින් සුදුසු යැයි සලකන වන්දි සහ වෙනත් සහන ද, මහේස්ත්‍රාත් අධිකරණයක නඩත්තු නඩුවක් ගොනු කිරීමෙන් දරුවන් හට සහ, තමන් නඩත්තු කිරීමේ හැකියාවක් නොමැති පාර්ශවයට නඩත්තු මුදලක් ද ලබා ගැනීමේ හැකියාවක් ඇත.