CivilFamily

වැඩිහිටි දෙමාපියන් නොසලකා හැරීම නීතියෙන් වරදක්ද?

Lexelon2 min read
Lexelon blog image

වැඩිහිටි පුරවැසියන්ගේ ආරක්ෂාව කෙරෙහි රටක් වශයෙන් ප්‍රතිපත්ති සැකසීම වඩා වැදගත් කරුණක් වන්නේ එම වැඩිහිටි පුරවැසියන් බොහෝ විට සිය තරුණ කාලයේ දී රටේ ශ්‍රම බලකාය වෙත එක්වී රට වෙනුවෙන් විවිධ ලෙස සේවය සපයන ලද නිසාය. එමෙන්ම වයෝවෘද්ධ දෙමාපියන්ට සැලකීම දරුවන් විසින් සිය යුතුකමක් ලෙස සලකා සිදු කළ යුතු බවට ආගමික වශයෙනුත්, සමාජීය වශයෙනුත්, නෛතික වශයෙන් පිළිගනු ලබන කාරණයකි. නමුත්, යම් හෙයකින් වයෝවෘද්ධ දෙමාපියන්ට නොසලකා සිටින ඇති හැකි දරුවන් ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රතිපාදන 2000 අංක 09 දරන වැඩිහිටි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත මගින් බලාත්මක කර ඇත.

මෙම පනතේ මූලික අරමුණ වී ඇත්තේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව ස්ථාපනය කිරීමයි. තවදුරටත් පනතේ ප්‍රතිපාදන මගින් දක්වා ඇත්තේ තමාට තමා නඩත්තු කර ගත නොහැකි වයෝවෘද්ධ දෙමව්පියන් හට ආර්ථික හැකියාවක් ඇති දරුවන් විසින් මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා නඩත්තු ලබා නොදෙන්නේ නම් කැම් නඩත්තු මුදලක් ගෙවීම සඳහා එකී කවුන්සිලයට නියෝග කිරීමේ හැකියාවක් ඇති බවයි.

මේ ආකාරයෙන් නියෝගයක් ලබාගැනීම සඳහා මුලින්ම කවුන්සිලය වෙත අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය. එහිදී සිය දරුවා හෝ දරුවන් කිහිප දෙනකු වගඋත්තරකරුවන් ලෙස සඳහන් කළ හැකිය. එහිදී කවුන්සිලයේ අදාළ කමිටුව විසින් යුක්තිය හා සාධාරණත්වය මත පිහිටා තොරතුරු සලකා බලා මාසිකව යම් මුදලක් හෝ යම් කාල පරිච්ඡේදයකට වරක් යම් මුදලක් ගෙවන ලෙස හෝ එකවර මුදලක් ගෙවන ලෙස නියෝග කිරීමේ හැකියාවක් ඇත. දරුවන් කිහිප දෙනකු වේ නම් නඩත්තු මුදල් ඔවුන් අතර බෙදී යන ලෙස නියෝග කෙරෙනු ඇත.

යම් වැඩිහිටි නිවාසයක සිටින දෙමව්පියකුගේ වියදම් වෙනුවෙන්, එකී වැඩිහිටි නිවාසයේ පරිපාලනයේ බලයලත් නිලධාරියෙකු විසින්, දරුවන්ගෙන් නඩත්තු මුදලක් ලබා ගැනීමට ඉහත පරිදි අයදුම්පතක් යොමු කිරීමේ හැකියාවක් ඇත.

මෙහිදී වඩාත් වැදගත් කාරණාවක් වනුයේ යම් වයෝවෘද්ධ දෙමව්පියකු ඉහත පරිදි නඩත්තු මුදලක් ලබා ගැනීම සඳහා සුදුසු වන්නේ තමාට තමා නඩත්තු කර ගත නොහැකි නම් හෝ තමා විසින් උපයන මුදල් තමාගේ නඩත්තුවට ප්‍රමාණවත් නොවන විට දී පමණි. මෙහිදී නඩත්තුව ලෙස සැලකෙනුයේ ආහාර ඉඳුම් හිටුම් සහ ඇඳුම් පැළඳුම් යනාදි මූලික අවශ්‍යතා වේ.

එසේම අදාළ කවුන්සිලය, වැඩිහිටි දෙමව්පියකු විසින් නඩත්තු සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ අවස්ථාවකදී දරුවන්ගේ ඉපයීමේ තත්ත්වය හා එම දරුවන්ගේ සැමියා/ භාර්යාව හා දරුවන් නඩත්තු කිරීම සඳහා ඔහුගේ හෝ ඇයගේ ඉපයීමේ ප්‍රමාණය ප්‍රමාණවත් ද යන්න සලකා බැලේ. එසේම ඉල්ලුම්කාර දෙමව්පියන් විසින්, යම් අවස්ථාවකදී වගඋත්තරකාර දරුවන්/ දරුවා නොසලකා අතහැර දමා තිබී ඇති බව, කවුන්සිලය විසින් සෑහීමකට පත්වන විටදී දරුවන් විසින් ගෙවිය යුතු නඩත්තු මුදල අඩු කිරීමේ ක්‍රමවේදයක් ද පවතියි. ඒ අනුව, දෙමව්පියන් විසින් කුඩා කල හෝ අධ්‍යාපනය ලබන වයසේ දී, අතහැර දමන ලද දරුවකුගෙන්, පසු කලෙක නඩත්තු ඉල්ලා සිටීමේ දී, දෙමවුපියන්ගේ පෙර ක්‍රියාකලාපය සලකා බලන බව පැහැදිලි වේ.

මෙකී පනතට අනුව වැඩිහිටියෙකු ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයෙක් වුවත් වයස අවුරුදු 60ට අඩු දෙමව්පියකු හට පවා තමාට තමන් නඩත්තු කර ගත නොහැකි බව පෙන්වාදීමෙන් ඉපයීමේ හැකියාවක් සහිත දරුවන්ගෙන් නඩත්තු මුදලක් ලබා ගැනීමේ හැකියාවක් ද පවතියි.

ඒ අනුව සමස්ත කරුණු දෙස බැලීමේදී පෙනී යන්නේ හැකියාව තිබියදී වැඩිහිටි දෙමාපියන්හට නොසලකා හරිනු ලබන දරුවන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් ඇති බවයි. මේ සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන තැනැත්තන්, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය (NSE) වෙත ගොස් වැඩි දුර තොරතුරු ලබාගන්න.

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය (NSE) : වැඩිහිටියන් සඳහා වු සේවාවන් විස්තර දැනගැනීමට මෙහි ක්ලික් කරන්න

Related Articles