අන් නිවසක ඇති කරන සුරතලෙක් ඔබට හානියක් සිදු කළහොත්?
වර්තමානයේ මෙන් නොව අතීතයේ දී නිවාස වල බහුලව විවිධ සතුන් ඇති කරනු ලැබීය. හරකුන්, එළුවන්, කුකුළන් බල්ලන් වැනි සතුන් ඒ අතර වේ. මෙම සතුන් මගින් මිනිසුන්ට අලාභ හානි වන අවස්ථා ඇති අතර, සතුන්ගේ හිමිකරුට සිදුවන අලාභ බොහෝ විට ඔහු විසින් දරාගනු ලැබීය. නමුත් පිටස්තර පාර්ශවයකට සිදුවන හානි සම්බන්ධ ව කටයුතු කිරීම සඳහා කාලයත් සමඟ රෝම-ලන්දේසි පොදු නීතියේ නඩුකර කිහිපයක් වර්ධනය විය. ඒවා නම්,
- Actio de pauperie, පෞපෙරියානු නඩුකරය.
- Actio de pastu පස්තු නඩුකරය
පෞපෙරියානු නඩුකරය
මෙම නඩුකරයේ දී බල්ලන් වැනි සිව්පා සතුන් ගේ සපා කෑම වැනි අවස්ථා වල හානි පූර්ණය සිදු කෙරේ. මුල් කාලයේදී හුදෙක් සත්ත්වයාගේ හිමිකරු, ඔහුගේ හිමිකාරත්වය මුල් කරගනිමින් පමණක් වගකීමට යටත් කරනු ලැබීය. නමුත් පසු කාලීනව එම වගකීම පැවරීම හිමිකාරත්වය පමණක් පදනම් ව කරනු වෙනුවට හිමිකරුගේ නොසැලකිල්ල මත වරද පවරන අන්දමට නීතිය දියුණු කරනු ලැබීය.
එසේම තවදුරටත් අධිකරණ හරහා මෙම නීති ක්‍රමය වර්ධනයේ දී පහත කරුණු සලකා බලනු ලැබීය.
- හානිය සිදුවූ තැනැත්තා එය සිදු වූ ස්ථානයේ සිටීම නීත්‍යානුකූල විය යුතුය.
- එනම් යම් අපරාධයක් කිරීමේ අරමුණින් හෝ වෙනත් අයුතු අන්දමකින් අදාළ ස්ථානයට ඇතුළු වූ තැනැත්තෙකුගෙන් දේපල ආරක්ෂා කිරීමට බල්ලකු විසින් කරනු ලබන සපා කෑමක් මීට අදාළ නොවේ.
- නමුත් අමුත්තකු වශයෙන් හිමිකරුගේ ආරාධනය මත එහි ගිය පුද්ගලයකු හිමිකරුගේ බල්ලා විසින් සපා කෑවෙනම් හෝ හරකකු විසින් අනිනු ලැබුවේ නම් එය මෙම නඩුකරය සඳහා නඩු නිමිත්තක් වෙයි.
එම නිසා තමන්ට කොයි තරම් හීලෑ සත්වයෙකු වුවත් පිටස්තර තැනැත්තකු දුටු විට වෙනස් ලෙස හැසිරීමට ඉඩ ඇති බව දනිමින් කල්පනාකාරීව කටයුතු කළ යුතුය. එසේම කවුරුන් කෙසේ " හපන්නේ නෑ "යනුවෙන් පැවැසුවද තමන්ගෙ ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වීමේ වගකීමක් සෑම පුද්ගලයෙකුට ම ඇත.
යම් හෙයකින් හිමිකරුගේ උසි ගැන්වීම මත සත්ත්වයකුගේ ප්‍රහාරයට ලක් වූ විට ඒ සඳහා මෙම නඩුකරය යොදා නොගනියි. ඒ වෙනුවට භෞතික හෝ මූල්‍යමය පාඩු සඳහා වන්දි ඉල්ලා පවරනු ලබන අක්වීලියානු නඩුකරය යොදාගනී.
පස්තු නඩුකරය
මෙම නඩුකරය හරකුන් වැනි සතුන් වගාබිම් හානි කිරීමට එරෙහිව පිළියම් යොදනු ලැබූ නඩුකරයකි. එකල හානි වූ වගාවට අලාභය ගෙවන තුරු එම සතුන් රඳවා තබා ගැනීමට ඉඩම් හිමියාට අයිතියක් ලැබිණ. එකල හරකුන් වැනි සතුන් දේපල ලෙස සලකනු ලැබූ බැවින් මෙසේ ඉඩදෙන ලද නමුත් වර්තමානයේ, මස් පිණිස මැරීමට ඇති හැකියාව නිසා සහ වෙනත් එවැනි හේතූන් මත එකී සත්වයන් රඳවා තබා ගැනීමට ඉඩ නොදෙනු ඇත.
කුමන අන්දමකින් වුවද ගෘහාශ්‍රිතව හෝ ගෙවතු ආශ්‍රිතව සතුන් ඇති කරන්නේ නම් එම සතුන්ගේ හැසිරීම පිළිබඳව කල්පනාකාරීව සිටිය යුතුය. එවිට උන් මගින් ඇතිවිය හැකි බොහෝ කරදර මඟහරවා ගත හැකිය.
