දෙමාපියන්ගේ දේපළ දරුවන්ට අයිතිද?
මෙය බොහෝ දෙනකු හට ඇති ගැටලුවකි. දෙමව්පියන් විසින් එක් දරුවකුට පමණක් දේපළ පැවරීම එසේ නැතිනම් කිසිසේත්ම දේපළ නොපැවරීම පිළිබඳ විවාහ පත් වී සිටින දරුවන් නිරන්තරයෙන්ම විමසනු දක්නට ලැබේ. සැබවින්ම දෙමාපියන්ගේ දේපළ වලට දරුවන්ට අයිතියක් නැද්ද? සාමාන්‍ය පොදු නීතිය යටතේ දෙමව්පියන්ට ඇත්තේ, දරුවන් වයස අවුරුදු 18 වන තෙක් හෝ වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ නම් අවුරුදු 25 වනතෙක් නඩත්තු කිරීමට වගකීමක් පමණි. එසේ නොමැතිව දරුවන්ට දේපල බෙදාදීම සඳහා වගකීමක් නීතියෙන් පවරා නැත.
ඒ අනුව යම් තැනැත්තෙකුට, තමාට හිමිකම් ඇති දේපල තමා කැමති ඕනෑම අයෙකුට විකිණීම හෝ තෑගි කිරීම සිදු කළ හැකිය. එසේ නොමැති වන විටදී අන්තිම කැමති පත්‍රයකින් තමන්ගේ මනාපය පරිදි පැවරීම සිදු කළ හැකිය. ඒ කිසිදු අන්දමකින්, වෙනත් අයෙකුට දේපළ පැවරීමකින් තොරව, යමෙක් මිය යනු ලැබ ඇත්නම් පමණක්, දරුවන්ට හා නීත්‍යානුකූලව විවාහ වූ බිරිඳට හෝ ස්වාමි පුරුෂයාට දේපළ උරුම වේ. එවැනි පැවතෙන්නන් නොමැති විටදී දෙමාපියන්ට සහ සහෝදර සහෝදරියන්ට නීතියෙන් නියම කර ඇති පරිදි උරුම වීම සිදුවේ.
මෙහිදී මුලින්ම යමෙකු මිය ගිය විට දේපළවලින් හරි අඩක් ජීවත්ව සිටින විවාහක සහකරුට හෝ සහකාරියට ලැබේ. ඉතිරි අර්ධය දරුවන් අතර සම සේ බෙදී යනු ඇත. දරුවන් නොමැති විට එම අර්ධය දෙමාපියන් හට සමසේ ලැබේ. ඔවුන්ගෙන් ද අයෙක් මිය ගොස් ඇත්නම් ඔහුට හිමි කොටස ඔහුගේ දරුවන් වූ ද පෙර කී තැනැත්තාගේ සහෝදර සහෝදරියන් අතර සම සේ බෙදී යනු ඇත. සාරාංශයක් වශයෙන් ගත් කල දේපළ උරුම වීමේ පිළිවෙල මෙය වේ.
කෙසේ වෙතත්, යම් දරුවකු නිසි වයස් එළඹුණු කළ රැකියාවක් සිදු කරගෙන තමා යැපීමේ හැකියාවක් ඇත්නම් දෙමාපියන්ගේ දේපල ආදිය නිසැකවම ලැබෙනු ඇතැයි කල්පනා නොකළ යුතුය.ඒ වෙනුවට තමා විසින් දේපළ උපයා ගැනීමට කටයුතු කිරීම සුදුසු වේ. තෑගි ඔප්පු වශයෙන් දේපළ ලැබුණද දැඩි අකෘතඥතාව මත එම තෑගි අවලංගු කිරීමේ හැකියාවක්ද නීතියෙන් ඇති කර තිබේ. ඒ අනුව තෑගි ඔප්පුවකින් දේපොළක් ලැබුණු පසු ඒ පිළිබඳව ද අවධානයෙන් සිටීම වැදගත් වේ.
