CriminalFamily

අසභ්‍ය දර්ශන පිළිබඳ නීතිය

L. D. Tharika Dishani4 min read
Lexelon blog image

මෙම මාතෘකාව සම්බන්ධව සාකච්ඡා කිරීමේදී ප්‍රධාන ලෙසම නීතියෙන් තහනම් කර ඇති අසභ්‍ය දර්ශන වර්ගය වනුයේ ළමයින්ට අදාලව කරනු ලබන අසභ්‍ය පලකිරීම් ප්‍රදර්ශන ආදියයි. එහිදී, ඒ සඳහා ළමයා පොලඹවනු ලබන හෝ බල කරනු ලබන තැනැත්තන් මෙන්ම එබඳු යම් ඡායාරූපයක් හෝ චිත්‍රපටයක්,

  • රූපගත කරන
  • විකුණන
  • බෙදාහරින
  • වෙනත් ආකාරයකින් පළ කරන හෝ
  • තම සන්තකයෙහි තබාගන්නා

තැනැත්තන්ට නීතියෙන් දැඩි දඬුවම් හිමිවේ.

මෙහිදී දෙමව්පියන්ගෙන් කෙනෙකුව හෝ භාරකාරත්වය දරණ යම් තැනැත්තෙකුව සිටිමින් අසභ්‍ය දර්ශන සඳහා දරුවා යොමු කරන තැනැත්තන්ට ද නීතියෙන් සහනයක් හිමි නොවේ. ඒ අනුව ළමයෙකු හෙවත් අවුරුදු 18 ට අඩු තැනැත්තෙකුගේ කුමන හෝ සභ්‍ය දර්ශනයක් සන්තකයෙහි තබා ගැනීම පවා දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි.

එවිට වැඩිහිටි තැනැත්තන් දෙදෙනකු අතර ලිංගික ක්‍රියාවක් හෝ වෙනත් එබඳු නිරුවත් දර්ශනවලට,

  • පෙනී සිටීම
  • පෙළඹවීම හෝ බලෙන් ලබා ගැනීම
  • රූපගත කිරීම සහ සංස්කරණය කිරීම
  • විකිණීම හෝ බෙදා හැරීම
  • සන්තකයෙහි තබා ගැනීම
  • අන්තර්ජාලය ඔස්සේ නැරඹීම

නීතිය මගින් වාරණය කර ඇත්දැයි විමසා බලමු.

මේ සම්බන්ධයෙන් බලාත්මක වන නීතිමය ප්‍රතිපාදන වන්නේ

  • ලංකා දණ්ඩ නීති සංග්‍රහය 285,286, 286(අ)
  • 1927 අංක 04 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත සහ
  • අයාල ආඥා පනත - 4 (ඇ) වගන්තියෙහි විස්තර වේ.

 

මෙහිදී සැලකිය යුතු කාරණයක් වන්නේ ඉහත කිසිදු ප්‍රතිපාදනයක අසභ්‍ය ප්‍රකාශන යන්න පැහැදිලිව අර්ථ නිරූපනය කර නොමැති බවයි. කෙසේ වුවද අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත යටතේ,

"අ. වෙළඳාම පිණිස හෝ වෙළඳාමක් වශයෙන් හෝ බෙදා හැරීම සඳහා හෝ මහජන ප්‍රදර්ශන සඳහා හෝ දක්වා ඇති හෝ දක්වා නොමැති කාර්ය සඳහා හෝ අසභ්‍ය ලියවිලි, චිත්‍ර, මුද්‍රිත ඡායාරූප, සිතුවම්, මුද්‍රිත ද්‍රව්‍ය, පින්තූර, විශාල දැන්වීම්,ලාංඡන, ඡායාරූප, සිනමාපටි,රූපවාහිනී කැසට්පට හෝ වෙන යම් අසභ්‍ය දේ සෑදීම, නිෂ්පාදනය කිරීම හෝ තමා සන්තකයේ තබා ගැනීම,
ආ. ඉහත කී කාර්ය සඳහා එකි අසභ්‍ය ද්‍රව්‍ය හෝ දේ අතුරින් කිසිවක් ආනයනය කිරීම, ගෙනයාම හෝ අපනයනය කිරීම හෝ ඒවා ආනයනය කිරීමට,ගෙන යාමට හෝ අපනයනය කිරීමට සැලැස්වීම හෝ කවර ලෙසකින් හෝ ඒවා සංසරණයට පත් කිරීම,
ඇ. එකී අසභ්‍ය ද්‍රව්‍ය හෝ දේ අතුරින් කිසිවක් හා සම්බන්ධ පොදු වූ හෝ පෞද්ගලික වූ හෝ ව්‍යාපාරයක් කර ගෙන යාම හෝ ඊට සහභාගි වීම නැතහොත් කවර ලෙසකින් හෝ එකී ද්‍රව්‍ය හෝ දේ පිළිබඳව කටයුතු කිරීම හෝ ඒවා බෙදා හැරීම හෝ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම හෝ ඒවා අතමාරුවට දීමේ ව්‍යාපාරයක් කිරීම,
ඈ. එකී දඬුවම් කළහැකි සංසරණය හෝ ‍වෙළඳාම සඳහා ආධාර කිරීමේ අදහස ඇතිව දඬුවම් කළහැකි ඉහත කී ක්‍රියාවන්ගෙන් යම් ක්‍රියාවක් හෝ යම් තැනැත්තෙකු යෙදී සිටින බව කවර ලෙසකින් හෝ ප්‍රචාරය කිරීම හෝ දැනුම් දීම හෝ ඉහත කී අසභ්‍ය ද්‍රව්‍ය හෝ දේ කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් සම්පාදනය කිරීම සහ..," ඉහත වැරදි සඳහා ආධාර දීම එම පනත යටතේ වරදක් බවට පත් කරයි.

ඒ අනුව පෙනී යන්නේ එබඳු අසභ්‍ය ප්‍රකාශන නිර්මාණය කොට බෙදාහැරීමේ හෝ විකිනීමේ පරමාර්ථයෙන් සන්තකයේ තබා ගැනීම හැරුණු කොට ගෙන හුදෙක් සන්තකයේ තබා ගැනීම වරදක් බවට පත් නොකරන බවයි. එසේම දණ්ඩ නීති සංග්‍රහය සහ අයාල ආඥා පනතට අනුව ද හුදු සන්තකයේ තබා ගැනීම වරදක් නොවේ. හුදු සන්තකයේ තබා ගැනීම යනු විකිණීම බෙදාහැරීම නිර්මාණය කිරීම වැනි ක්‍රියාවකට සම්බන්ධ නොවන ආකාරයෙන් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා තබා ගැනීමයි. එසේ වුවද යම් හෙයකින් එබඳු අසභ්‍ය ප්‍රකාශනයක් බෙදාහැරීමට සම්බන්ධ වී තිබේ නම් නීතිමය වශයෙන් ගැටලු ඇති විය හැකි බව සිහි තබාගත යුතුය.

L. D. Tharika Dishani

L. D. Tharika Dishani

LLM(Cardiff Met.), MSc.(Greenwich), Attorney-at-Law

Legal professional with experience in community legal services, business crime, competition law, and criminal law. Has a special interest and knowledge in AI Law and Legal Tech.

Related Articles