CriminalFamily

පෞද්ගලික ඡායාරූප/ වීඩියෝ අනවසරයෙන් සමාජ මාධ්‍ය වලට මුදාහැරීම

Lexelon3 min read
Lexelon blog image

පෞද්ගලික ඡායාරූප/ වීඩියෝ අනවසරයෙන් සමාජ මාධ්‍ය වලට මුදාහරිනා බවට තර්ජනයේ සිට ඒවා සමාජ මාධ්‍යයට මුදා හැරීමෙන් පසුව වෙනත් කණ්ඩායම් විසින් ඒවා බෙදා හරිමින් අපහාසාත්මක සහ සදාචාරයට කිසිසේත්ම නොගැලපෙන ආකාරයෙන් කටයුතු කිරීමට එරෙහිව ඒ ඒ අවස්ථාවලදී ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සැකෙවින් සාකච්ඡා කරමු.

විවිධ සිද්ධිමය කරුණු අතර පොදුවේ පහත සඳහන් අවස්ථා වැඩි වශයෙන් සිදුවන බව පෙනී යයි.

  • පෞද්ගලික ඡායාරූප/ වීඩියෝ අනවසරයෙන් සමාජ මාධ්‍ය වලට මුදාහැරීම පිළිබඳ තර්ජනය කිරීම.
  • අගතියක් සිදුකිරීමේ අපේක්ෂාවෙන්, විශ්වාසය මත ගෙන්වාගත් පෞද්ගලික ඡායාරූප/ වීඩියෝ අනවසරයෙන් සමාජ මාධ්‍යය වලට මුදාහැරීම.
  • අගතියක් සිදුකිරීමේ අපේක්ෂාවෙන් හෝ වෙනත් අරමුණකින් විශ්වාසය මත ගෙන්වාගත් තැනැත්තා නොවන වෙනත් තැනැත්තකු විසින් පෞද්ගලික
  • ඡායාරූප/ වීඩියෝ අනවසරයෙන් සමාජ මාධ්‍ය වලට මුදාහැරීම. ( දුරකථන කාර්මික ශිල්පියෙකු විසින් වැනි)
  • නොයෙක් යෙදුම් යොදාගෙන විකෘති කරන ලද ඡායාරූප/ වීඩියෝ ප්‍රසිද්ධ කිරීම සහ බෙදා හැරීම.
  • යම් ආකාරයකින් ලැබෙන වෙනත් තැනැත්තකුගේ පෞද්ගලික ඡායාරූප හෝ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධියේ බෙදා හැරීම සහ ඉල්ලාසිටීම.
  • විවිධ chat යෙදුම් හරහා වෙනත් තැනැත්තකුගේ පෞද්ගලික ඡායාරූප හෝ වීඩියෝ බෙදාහැරීම හෝ ඉල්ලා සිටීම. (WhatsApp වැනි)


සමාජය විසින් දැනුවත් විය යුත්තේ එක් තැනැත්තකුට විශ්වාසය මත යවන ලද පෞද්ගලික ඡායාරූප හෝ වීඩියෝ, වාණිජ අරමුණක් වෙනුවෙන් රූගත කරන ලද වීඩියෝ හෝ ඡායාරූප වලින් වෙනස් වන බවයි.

යම් කලකට පෙර පෞද්ගලික අවස්ථාවන් යැයි සලකන ලද බොහෝ අවස්ථාවන්, මේ වනවිට සමාජ මාධ්‍යයේ කැමැත්තෙන් ම ප්‍රසිද්ධ කරන තත්ත්වයක් පවතින බව සැබෑවකි. එසේ වුවද කිසිවෙකු විසින් ස්ව කැමැත්තෙන් ප්‍රසිද්ධ නොකරන ලද ඡායාරූප හෝ වීඩියෝ අයිතිකරුවන්ගේ අනුදැනුමකින් තොරව ප්‍රසිද්ධ කිරීම හෝ බෙදා හැරීම නීතිය මගින් දඬුවම් ලබාදිය හැකි වැරදි වේ. ඒ කෙසේද යන්න සොයා බලමු.

පෞද්ගලික ඡායාරූප/ වීඩියෝ අනවසරයෙන් සමාජ මාධ්‍ය වලට මුදාහැරීම පිළිබඳ තර්ජනය කිරීම.

මෙහිදී සාපරාධි බිය වැද්දීම යටතේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය. මෙය අපරාධමය වරදක් වන බැවින් පොලිසිය මේ පිළිබඳ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.

අගතියක් සිදුකිරීමේ අපේක්ෂාවෙන්, විශ්වාසය මත ගෙන්වාගත් පෞද්ගලික ඡායාරූප/ වීඩියෝ අනවසරයෙන් සමාජ මාධ්‍ය වලට මුදාහැරීම.

මෙහිදී නඩු නිමිති කිහිපයක් උද්ගත වේ. අපරාධ, සිවිල්, බුද්ධිමය දේපොළ යන නීති යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් ඇත.

අගතියක් සිදුකිරීමේ අපේක්ෂාවෙන් හෝ වෙනත් අරමුණකින් විශ්වාසය මත ගෙන්වාගත් තැනැත්තා නොවන වෙනත් තැනැත්තකු විසින් පෞද්ගලික ඡායාරූප/ වීඩියෝ අනවසරයෙන් සමාජමාධ්‍ය වලට මුදාහැරීම. ( දුරකථන කාර්මික ශිල්පියෙකු විසින් වැනි)

මෙහිදී ද නඩු නිමිති කිහිපයක් උද්ගත වේ. අපරාධ, සිවිල්, බුද්ධිමය දේපොළ යන නීති යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් ඇත.

නොයෙක් යෙදුම් යොදාගෙන විකෘති කරන ලද ඡායාරූප/ වීඩියෝ ප්‍රසිද්ධ කිරීම සහ බෙදා හැරීම.

මෙහිදී දැකිය යුතු ප්‍රධානතම කරුණ වන්නේ අදාල ඡායාරූප හෝ වීඩියෝ ව්‍යාජ ඒවා වීමයි. එහිදී වෙනත් නඩු නිමිති උද්ගත වන අතර ඒ සඳහා ද අපරාධ හා සිවිල් නීති යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් ඇත. විශේෂයන් අපහාස නඩු පැවරීමේ හැකියාවක්ද පවතී.

යම් ආකාරයකින් ලැබෙන වෙනත් තැනැත්තකුගේ පෞද්ගලික ඡායාරූප හෝ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධියේ බෙදා හැරීම සහ ඉල්ලාසිටීම.

කිසියම් අසභ්‍ය ප්‍රකාශනයක් හුදු සන්තකයේ තබා ගැනීමෙන් ඔබ්බට ගොස් වෙළඳාම,බෙදාහැරීම,මහජන ප්‍රදර්ශනය සහ/හෝ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම,කුලියට හෝ අතමාරුවට දීම (lending), ප්‍රචාරය කිරීම සහ සැපයීම දණ්ඩ නීති සංග්‍රහය මගින් අපරාධමය වගකීම පැවරිය හැකි වැරදි වේ. ( දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286 වගන්ති)

විවිධ chat යෙදුම් හරහා වෙනත් තැනැත්තකුගේ පෞද්ගලික ඡායාරූප හෝ වීඩියෝ බෙදාහැරීම හෝ ඉල්ලා සිටීම.


ඉහත වගන්ති සහ නීති තත්ත්ව මේ සඳහා ද අදාල වන අතර අදාළ සාක්ෂි එක් රැස් කර ගත හැකි ආකාර නීතිඥවරයෙකු මාර්ගයෙන් දැනුම්වත් විය හැකිය.
නැවතත් අවධාරණය කර සිටින්නේ මෙහිදී නිවැරදි තොරතුරු අදාල නීති සම්බන්ධ අංශ වෙත ඉදිරිපත් කළ යුතු අතර එසේ නොවන විටදී ම උසාවිය හෝ නීතිය අංශ නොමඟ යැවීම් මගින් තමන්ගේ නීති කටයුත්ත/ නඩුව අසාර්ථක වීම හා එයින් නොනැවතී දඬුවම් වලට පවා ලක්විය හැකිය.
ශ්‍රී ලංකාව තුළ මෙවැනි සිද්ධීන් තුළින් අපහසුවට පත්වන බොහෝ දෙනා නිසි නීති උපදෙස් නොලැබීම මත නීතියේ පිළිසරණ ලබා ගැනීමට අපොහොසත් වන බව පෙනේ. ඊට නොදැනුවත් භාවය සහ වෙනත් ආර්ථික අපහසුතා මුල් විය හැකි බව සිතිය හැකිය.
එසේම නීති තත්ත්ව පිළිබඳ ව නොදැනුවත්භාවය නිසා ඉහත වැරැදි සිදුකිරීම සඳහා බොහෝ දෙනා පෙලඹෙන බවද පෙනී යයි. අපරාධ වරදක දී යමෙකු අදාල චේතනාවෙන් යුතුව ක්‍රියාව කර ඇත්නම් වරදකරුවකු විය හැකිය. තව බොහෝදෙනා එම වරද ම කර තිබීම අපරාධමය වගකීමෙන් ගැලවීමට හේතුවක් නොවේ.
 

Related Articles