පොරොන්දු නෝට්ටු (ප්‍රොමිසරි නෝට්ටු) මගින් මුදල් ණයට ලබා ගැනීම පිළිබඳ නීතිය.
.png&w=1920&q=75)
ප්‍රොමිසරි නෝට්ටු වල ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 118 දක්වා ඈත අතීතයට දිවයයි. හම් කැබලි, රෙදි කැබලි වල සිට කඩදාසි දක්වා මෙම ප්‍රොමිසරි නෝට්ටු පරිණාමය වී ඇත. අතීතයේ මුදල් වෙනුවට ද මෙම පොරොන්දු නෝට්ටු යොදාගෙන තිබේ.
මෙරට පොරොන්දු නෝට්ටු සම්බන්ධව විනිමය බිල්පත් ආඥා පනත සහ ඉංග්‍රීසි නීතිය අදාල වේ. නඩු කටයුතු සඳහා සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රමාණ කළ මුදල් නඩු සඳහා වන ප්‍රතිපාදන අදාල වේ. පනතට අනුව පොරොන්දු නෝට්ටුවක් අර්ථ දක්වා ඇත්තේ යම් පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකු වෙත නිශ්චිත ඉදිරි දිනක හෝ ඉල්ලූ විටෙක යම් මුදල් ප්‍රමාණයක් ගෙවන බවට වන කොන්දේසි විරහිත ලිඛිත පොරොන්දුවක් ලෙසයි. පොරොන්දු නෝට්ටුවේ සඳහන් මුදල් ප්‍රමාණය එහි ලබන්නා ලෙස සඳහන් කර ඇති තැනැත්තාට පමණක් නොව පොරොන්දු නෝට්ටුව දරන්නා හෙවත් එය රැගෙන යන්නට ද ලබාගත හැකිය. එනම් චෙක් පත්‍රයක් රැගෙන යන තැනැත්තාට මුදල් ලබා ගත හැකි පරිද්දෙනි.
පොරොන්දු නෝට්ටුවක් එහි රචකයා විසින් අත්සන් තබන තුරු වලංගු නොවන අතර අත්සන් තැබීමෙන් පසුව ද දරන්නා වෙත හෝ මුදල ලබන්නා වෙත භාර නොදුන්නේ නම් ක්‍රියාවලිය අසම්පූර්ණ ලෙස ගැනේ. එනම් පොරොන්දු නෝට්ටුවක් ලියා අත්සන්කර එය ලියූ තැනැත්තාගේ සන්තකයේ ම තබාගතහොත් සහ කිසිදිනක වෙනත් තැනැත්තෙකුට ලබා නොදුනහොත් එමගින් ඔහු වගකීමකට නොබැඳේ.
පොරොන්දු නෝට්ටු සාමාන්‍යයෙන් වෙළෙඳ කටයුතු වලදී යොදා ගැනීම කෙරෙන නමුත් මෙරට පෞද්ගලික පාර්ශව අතර කෙරෙන ණය ගනුදෙනු වලදී බොහෝ විට යොදා ගැනේ. එවිට සිදු වන්නේ පොරොන්දු නෝට්ටුවක් ලබාගෙන ණයට හෝ පොලියට මුදල් ලබාදීම යි. එහිදී පොරොන්දු නෝට්ටුව ලියන තැනැත්තා වන්නේ ණය ලබා ගන්නා තැනැත්තා හෙවත් ණයගැතියා වන අතර මුදල ලබන්නා වන්නේ ණයහිමියා වේ. මෙරට පෞද්ගලික තැනැත්තන්ට ණය ලබාදීමට හෝ ණය ගැනීමට නෛතිකව බාධාවක් නොමැති අතර අයකරනු ලබන පොලිය සම්බන්ධව සීමාවක් යොදා නැත. තමාට දැරිය නොහැකි පොළියකට ණය ලබා ගැනීම සම්බන්ධව ණයගැතියන් විසින් කල්පනාකාරී විය යුතුය. නමුත් ඉදිරියේදී ඒ සඳහා යම් නෛතික ප්‍රතිපාදන සකස් කිරීම සඳහා අවධානය යොමු වී තිබේ.
මෙවැනි ගනුදෙනුවකදී පොරොන්දු පත්‍රය නිසි ලෙස මුද්දර අලවා තිබිය යුතු වේ. ( මේ සඳහා මුද්දර ගාස්තු වන්නේ රුපියල් 1000 කට හෝ එහි කොටසකට රුපියලක් වන ලෙස ය.) එසේ නොවන පොරොන්දු පත්‍ර නීතිය ඉදිරියේ වලංගු ලෙස නොගැනේ. පොරොන්දු නෝට්ටුවක් මගින් සිදු කරන ලද ගනුදෙනුවක් නිසි ලෙස සිදු නොවීම මත නෛතිකව කටයුතු කිරීමේදී මුලින්ම පොලිස් ස්ථානයක් වෙත ගොස් පැමිණිලි කළ යුතු වේ.
පොරොන්දු නෝට්ටුවේ වටිනාකම ලක්ෂ 5 කට අඩු වන විට ගැටලුව සමථ මණ්ඩලයක් වෙත යොමු කරනු ලබන අතර සමථ නොවුවහොත් පමණක් අධිකරණයේ නඩු පවරනු ලැබේ. ලක්ෂ 5 කට අධික වටිනාකමකින් යුතු පොරොන්දු පත්‍ර සඳහා නීතීඥවරයෙකු මාර්ගයෙන් එන්තරවාසියක් යැවීම හා ඉන් අනතුරුව නඩු පැවරීම සිදුකළ හැකිවේ. නඩු කටයුතු සිදුවන්නේ ලඝු කාර්ය පටිපාටියට අනුව ය. එහිදී පැමිණිල්ල සමඟ දිවුරුම් ප්‍රකාශයක් ද අධිකරණයේ ගොනු කළ යුතුය. එහිදී පොරොන්දු නෝට්ටුවේ වලංගුතාවය පරීක්ෂා කරනු ලබන අධිකරණය ඒ පිළිබඳව සෑහීමකට පත් වුවහොත් විත්තිකරුට සිතාසියක් මගින් විත්තිවාචක ඉදිරිපත් කිරීමට නියම කරනු ලැබේ. සිතාසියේ සඳහන් පරිදි විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොවූනාහොත් සිතාසිය සඳහන් මුදල ලබාගැනීමට පැමිණිලිකරු හිමිකම් ලබන්නේ ය. විත්තිකරුගේ විත්තිවාචකයේ පිළිගත හැකි භාවය අනුව අධිකරණය සුදුසු නියෝගයක් සිදු කරනු ඇත.
පොරොන්දු නෝට්ටුවේ සඳහන් ගිවිසුම කඩකළ දින සිට වසර 6 ක් තුළ නඩු පැවරීම අනිවාර්ය වේ.
කවරාකාරයකින් වුවද පොලී පිට ණය ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව පැහැදිලි වේ. ණය ලබා ගැනීමේදී අයකරන පොලිය ආදිය කොපමණ ගෙවිය යුතු ද යන්න ණය ගැනීමට පෙර ම ගණනය කර බලා ගනුදෙනුව සිදු කිරීම මැනවි.
