PoliceCriminal

ඕනෑම අයෙකුට අත්අඩංගුවට ගන්න එපා කියල නියෝගයක් ඉල්ලන්න පුළුවන් ද?

Lexelon3 min read
Lexelon blog image

අත්අඩංගුවට ගන්න එපා කියල නියෝගයක් ඉල්ලන්න පුළුවන් ද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇති බව දැන් ප්‍රසිද්ධ පුවතකි.

පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියෙකු නොව ඔහු රටේ පොලිස්පතිවරයා වන බවත් රටේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ වගකීම පෙත්සම්කරු වෙත පැවරී තිබෙන බවත් පෙන්වා දුන් විනිසුරුතුමා එවැනි නිලධාරියෙකු අධිකරණ නියෝග මඟ හරිමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව සඳහන් කර ඇත.

පොලිස්පති විසින් මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණයෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි. ගමේ හේන් ගොවිතැන් කරන සාමාන්‍ය ගොවියකු අත්අඩංගුවට ගන්නා ලෙස පහළ අධිකරණයක් නියෝග කර ඇති විට අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉහළ අධිකරණයකින් නියෝගයක් ගත හැකිද?

පිළිතුර නම් යම් යම් කරුණු වලට යටත් ව හැකිය යන්නයි.

  • පහළ අධිකරණයේ විනිසුරුවරයාගේ නියෝගය අනීතික හා/හෝ බලය අභිබවා දෙන ලද තීන්දුවක් වීම.

පොලිස්පතිවරයාගේ පෙත්සමෙහි ද උගත් මහේස්ත්‍රාත් වරයාගේ වරෙන්තු නිකුත් කිරීමේ නියෝගය අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ (අපරාධ නඩු පවත්වාගෙන යා යුතු පිළිවෙල දක්වන නීති එකතුවකි) ප්‍රතිපාදන වලට පටහැනි බව දක්වා තිබුණි.

මෙරට පාලනයට සම්බන්ධ ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය ලෙස ආයතන තුනක් ඇති බව ඔබ අසා ඇත. ව්‍යවස්ථාදායකය ලෙස හඳුන්වන්නේ පාර්ලිමේන්තුව වන අතර ඔවුන් විසින් නීති සම්පාදනය කරනු ලැබේ. විධායකය විසින් රාජ්‍යයේ පරිපාලන කටයුතු සිදු කරනු ලබන අතර ජනාධිපතිවරයාගේ සිට පහළම ස්තරයේ රජයේ සේවකයා දක්වා මෙම විධායකය යන කොටසට අයත් වේ. අධිකරණය යනු විවිධ නීති විනිශ්චකාරවරුන් සහ නීතිඥවරු ඇතුළු අධිකරණ නිලධාරීන්ගෙන් සැදුම්ලත් පද්ධතියක් වේ. ඒ එක් එක් මූලිකාංග තනි තනිව ගත් කළ අධිකරණය ලෙස සැලකිය නොහැකිය.

විධායකයේ යම් තීන්දු තීරණ ගන්නා නිලධාරියෙකු විසින් ම අනීතිකව හෝ දෙන ලද බලය අභිබවා ගන්නා තීරණ වලට එරෙහිව එකී තීන්දු නැවත විමසා බැලීමේ බලයක් (පුනරීක්ෂණ බලයක් / Judicial Review) අභියාචනාධිකරණයට ඇත. මෙම බලය ම පහළ අධිකරණවල විනිසුරුවරුන් විෂයෙහිද යෙදේ. විනිසුරුවරුන්ද අධිකරණ අමාත්‍යාංශය යටතේ විධායකයට සම්බන්ධ නිලධාරීන් පිරිසක් ලෙස සැලකිය හැකිය.

පොලිස්පතිවරයා මෙම අවස්ථාවේදී අභියාචනාධිකරණය සතු ඇති එකී පුනරීක්ෂණ බලය සිය අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා යොදා ගැනීමට කටයුතු කර තිබුණි.

එම නිසා යම් නඩුවක නියෝගයක් ලබා දී තිබෙන්නේ පහල අධිකරණයෙන් විනිසුරුවරයා වෙත නීතියෙන් පවරා ඇති බලයට පරිබාහිරව නම් හෝ බලය අභිබවා නම්, ඕනෑම තැනැත්තෙකුට එකී නියෝගය ඉවත් කිරීමට හෝ නැවත සලකා බැලීම සඳහා ඉල්ලීමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ හැකිය.

  • පෙත්සම්කරු අවංකව ම කටයුතු කර තිබීම (පිරිසිදු දෑතින් අධිකරණයට පැමිණීම)

සාමාන්‍යයෙන් නීතියෙන් බලාපොරොත්තු වන ක්‍රියාදාමය වන්නේ යම් තැනැත්තකුට චෝදනාවක් කර ඇති විට අධිකරණය වෙත ඉදිරිපත් වී ම චෝදනාවලට මුහුණ දී වරදක් නොමැති නම් එම චෝදනාවලින් නිදහස් වී යාමයි. ඒ අතරතුර අමානුෂික වද හිංසාවලින් තොරව නඩුවට මුහුණ දීමටද අයිතියක් ඇත. නඩුවෙන් නිදහස් වූ පසු වැරදි චෝදනා ඉදිරිපත් කර ඇත්නම් හෝ බොරු සාක්ෂි ලබා දී ඇත්නම් ඊට එරෙහිව ද කටයුතු කිරීමේ හැකියාවක් ඇත. අත්අඩංගුවට ගැනීමෙන් යම් අයුක්ති සහගත ප්‍රතිඵලයක් ඇති වන්නේ නම් ඉහත සඳහන් ආකාරයේ වෙනත් ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් ඇත.

පොලිස්පතිවරයාට අදාළ පෙත්සම විභාගයට ගනිමින් විනිසුරුතුමා, පොලිස්පතිවරයා පිරිසිදු දෑතින් අධිකරණයට පැමිණ නැති බව අවධාරණය කර තිබුණි. ඊට ප්‍රධානතම හේතුවක් වන්නේ මෙවැනි සහනයන් අධිකරණයකින් බලාපොරොත්තු වන්නේ නම් සිද්ධියට අදාළව අධිකරණය ඉදිරියට යන තැනැත්තා ඉතා අවංකව සද්භාවයෙන් කටයුතු කර තිබිය යුතු වීමයි. ඒ මෙවැනි නීති ප්‍රතිකර්ම සඳහා සාධාරණත්වය (Equity) නම් විකල්ප නීති පද්ධතියේ ආභාෂය ලැබී තිබීමයි. (සාධාරණත්වය (Equity) පිළිබඳ පැහැදිලි කිරීමක් ළඟදීම බලාපොරොත්තුවන්න)
කෙසේ නමුත් සාමාන්‍ය පුද්ගලයෙකුට මෙවැනි නීති ප්‍රතිකර්ම ලබා ගැනීමේදී පැවතිය හැකි සීමාවන් ලෙස සැලකිය හැක්කේ, විනිසුරුවරයාගේ තීරණවල ඇති අනීතික හෝ බලය අභිබවා ඇති ස්වරූපය හඳුනා ගැනීමට සිදු කළ යුතු නීති පොත් අධ්‍යයනය සඳහා නීතිඥවරුන් වෙත විශාල මුදල් ප්‍රමාණයක් ගෙවීමට ඇති නොහැකියාව සහ අඩු වශයෙන් එවැනි ප්‍රතිකර්ම ලබාගත හැකි බවට ඇති නොදැනුවත්කමයි.

ලෙක්සිලෝන් අපගේ වෑයම වන්නේ තම අයිතිවාසිකම් සහ තමන්ට ලබාගත හැකි නීතිමය ප්‍රතිකර්ම පිළිබඳ ව මනා දැනුමකින් යුත් පුරවැසියන් බිහි කිරීමයි. ඔබත් නීතියෙන් සන්නද්ධ වීමට කැමතිනම් අප සමග එක්වන්න.

Related Articles