අපරාධ නඩුවක විත්තිකරුගේ බිරිඳ ගේ සාක්ෂිය වලංගු වේද?

සිවිල් හෝ අපරාධ නඩුවක සාක්ෂි ලබා ගැනීම සිදු කරන්නේ නම් එය සිදුවිය යුත්තේ සාක්ෂි අඥාපනතට අනුකූලව ය. මෙම ආඥා පනතේ, යම් විත්තිකරුවෙකු සම්බන්ධයෙන් සාක්ෂි සඳහා ඔහුගේ හෝ ඇයගේ සැමියා හෝ බිරිඳ කැඳවන්නේ නම් ඒ සඳහා අදාළවන ප්‍රතිපාදන දක්වා ඇත.
ඒ අනුව, සිවිල් නඩුවක දී අදාල කරුණු සම්බන්ධව යම් පාර්ශවයක සැමියා හෝ බිරිඳ සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් නෛතික බාධාවක් නොමැත. අපරාධ නඩු වලදී සැමියා හෝ භාර්යාව සාක්ෂිකරුවකු කරගත හැකි වන්නේ, විත්තිකරු විසින් ඔහු හෝ ඇයගේ කලත්‍රයා (විවාහ වී සිටින තැනැත්තා) විත්තියේ සාක්ෂිකරුවකු ලෙස කැඳවන්නේ නම් පමණි. නැතහොත් විත්තිකරුට එරෙහිව පැමිණිල්ලෙන් සාක්ෂිකරුවකු ලෙස ගෙන ඒමක් සිදු නොවේ. මීට හේතුව ඉංග්‍රීසි නීතියේ ආභාෂයත්, ඒ ආශ්‍රිත සංස්කෘතිය විසින් විවාහ බන්ධනය අතිපූජනීය බන්ධනයක් ලෙස සැලකීමත් ය. එවැනි බන්ධනයක් තුළ සන්නිවේදනය වන තොරතුරු විශ්වාසනීයව ආරක්ෂා කළ යුතු බව පිළිගැනේ.
නමුත් යම් තැනැත්තෙකු තමන්ගේ ස්වාමියාට හෝ භාර්යාවට ශාරීරික පීඩාවක් හෝ සාහසික ක්‍රියාවක් සිදුකොට ඇත්නම් එවැනි අවස්ථාවක විත්තිකරුට එරෙහිව සාක්ෂි ලබාදීම සඳහා සැමියා හෝ භාර්යාව සාක්ෂිකරුවකු වශයෙන් කැඳවීමෙහි බාධාවක් නැත. එම ප්‍රතිපාදනය ශාරීරික පීඩාවක් හෝ සාහසික ක්‍රියාවක් සිදු කිරීමට උත්සාහ කිරීමට එරෙහිවද යොදාගත හැකිය.
ඉහත ප්‍රතිපාදන අදාල කර ගැනීමේදී දෙපාර්ශවය නීත්‍යනුකූල ලෙස විවාහ වී ඇත්ද යන්න වැදගත් වේ. එසේ නොවන අවස්ථාවලදී චාරිත්‍ර වාරිත්‍ර මත සිදුකරන ලද වලංගු විවාහයක් පවතින බවට අධිකරණය විසින් සෑහීමකට පත්විය යුතුය. එසේ හෙයින්, ස්වාමියා සහ භාර්යාව යන තැනැත්තන් දෙදෙනා එකිනෙකා කෙරෙහි මනා විශ්වාසයෙන් සහ එකිනෙකා ආරක්ෂා කරමින් කටයුතු කරන දෙපාර්ශවයක් බව නීතියෙන් පිළිගන්නා අතර ඒ බැඳීම සඳහා යම් ආරක්ෂාවක්ද ලබාදී තිබේ.