CivilEmployment

රැකියාවේ පරිවාසික කාලසීමාව ගැන ඔබ දැනුම්වත් ද?

Lexelon2 min read
Lexelon blog image

පරිවාසික කාලය (Probation Period) ලෙස හැඳින්වෙන්නේ බොහෝ විට ස්ථර සේවකයකු ලෙස බඳවා ගැනීමට පෙර ආයතනයක් විසින් සේවකයා අදාළ තනතුරට සුදුසු ද යන්න විමසා බලන කාල සීමාවකි. මෙහිදී සේවකයාට ද අදාළ ආයතනය තමන්ට සුදුසු ද යන්න තීරණය කළ හැකි වේ.

එම නිසා එම කාල සීමාවේදී සේවය නැවැත්වීම සඳහා වන කොන්දේසි එතරම් දැඩි නොවේ.

විවිධ තනතුරු වල පරිවාසික කාල සීමා විවිධ විය හැකියි.

බොහෝ විට මාස 3ක්, මාස 6ක් දක්වා විය හැකි අතර වසරක් හෝ වැඩි කාලයක් පරිවාසික කාලය ලෙස යොදා ගන්නා ආයතන ද තිබිය හැකියි. ඒ සියල්ල සේවකයා සහ ආයතනය අතර ඇති සේව්‍ය-සේවක ගිවිසුම මත රඳා පවතී.

සාමාන්‍යයෙන් ගිවිසුමේ කොන්දේසි තීරණය කිරීමේ බලය දෙපාර්ශවයට සමානව තිබිය යුතු බව පිළිගැනුන ද, යථාර්ථය නම්, ආයතනයට බොහෝ විට ගිවිසුමේ කොන්දේසි තීරණය කිරීමට වැඩි බලයක් හිමිවේ. ඊට එකඟ නොවන විට සේවයට බඳවා ගැනීම සිදු නොවනු ඇත. කෙසේ වෙතත් රැකියා ගිවිසුමකට අත්සන් කිරීමට පෙර හැකි නම් නීති උපදෙස් ලබා ගැනීම සුදුසුය. යම් සේවකයෙකු රැකියා ගිවිසුම අත්සන් කිරීමට පෙර නීති උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කර සිටීනම් ආයතනය ඊට ඉඩ ලබාදිය යුතු වේ.

රැකියා ගිවිසුමට අත්සන් කිරීමේදී මතක තබාගත යුතු පළමුවෙන කාරණාව නම් එය අත්සන් කිරීමෙන් දෙපාර්ශ්වයම ඒ ගිවිසුමේ කොන්දේසි ඉටු කිරීම සඳහා නීතිමය වශයෙන් බැඳී සිටින බවයි. එම නිසා කොන්දේසි මොනවාද යන්න නිසි පරිදි දැනුම්වත් වී අත්සන් කිරීම සිදුකළ යුතුය.

පාරිවාසික කාලසීමාවේදී රැකියාවෙන් ඉවත් වෙන්නේ කෙසේද යන්න ගිවිසුමේ සඳහන් විය යුතුය. අස්වීම සඳහා දැනුම්දීමේ කාලසීමාව සති දෙකේ සිට මාසය දක්වා තිබිය හැකි යි. සමහර රැකියා වලදී ක්ෂණිකව ඉවත්වීමේ හැකියාවක්ද තිබිය හැකිය. ආයතනය විසින් සේවකයා ඉවත් කිරීමේදී ද බොහෝවිට මෙම කාලසීමාවන් ම අදාළ වන අතර දෙපාර්ශවය අතර ඇති කරගන්නා එකඟතාවය මත (රැකියා ගිවිසුම) එය වෙනස් විය හැකිය.

පරිවාසික කාල සීමාව ගෙවී යාමට පෙර ආයතනය විසින් සේවකයාගේ සේවය අසාධාරණ ලෙස අවසන් කර තිබේ නම් කම්කරු නීති වලට අනුව කටයුතු කළ හැකිය. එසේ වුවද පරිවාසික කාලසීමාව අවසන් වන විටදී අනිවාර්යෙන්ම සේවයේ පිහිටුවන ලෙස බල කිරීමේ හැකියාවක් සේවකයාට නැත. එය බොහෝවිට ආයතනයේ තීරණය මත පදනම් වේ. ඊට හේතුව සේවකයාගේ සේවය සතුටුදායකද යන්න තීරණය කළ හැක්කේ ආයතනයට මිස අධිකරණයට නොවන බැවිනි.

Related Articles