CriminalEmploymentFinance

ව්‍යාජ ලියකියවිලි මගින් ජිවිතයට සිදුවන දඬුවමට එහා ගිය බලපෑම

Lexelon3 min read
Lexelon blog image

වර්තමානයේ පමණක් නොව අතීතයේ ද මිනිසුන් නොයෙක් අවස්ථාවල යම් ලියවිලි ව්‍යාජව සකසන ලද අවස්ථා විරල නොවේ. රැකියාවක් ලබා ගැනීමට, දඬුවමකින් බේරීමට හෝ ගෞරව ප්‍රශංසා අත්කරගැනීමට මිනිසුන් ව්‍යාජ ලියවිලි භාවිතා කරනු ලැබේ.

නූතන තාක්ෂණයේ පිහිටෙන් ව්‍යාජ ලියවිලි සැකසීමේ හැකියාව වර්ධනය වී තිබේ. ව්‍යාජ ලියවිලි සැකසීම හෙවත් කූඨ ලේඛනය ඉතා පහසුවෙන් සිදු කළ හැකි වුවද, එවැනි වරදකට හසු වූ විට තත්ත්වය එතරම් පහසු නොවන බව පහතින් සාකච්ඡා කරන කරුණු අනුව පෙනී යයි.

ලියකියවිලි වලට සම්බන්ධ වැරදි විවිධාකාර විය හැකිය. සම්පූර්ණ ලියවිල්ලක් ව්‍යාජව සකසන්නා සේම ලියවිල්ලකින් කුඩා කොටසක් ව්‍යාජව සැකසීම ද වරදක් වන්නේය. ව්‍යාජ සහතික පත්‍ර සෑදීම, ව්‍යාජ ලෙස චෙක්පත් ලිවීම, හොර අත්සන් යෙදීම, ව්‍යාජ ලිපි සැකසීම, ව්‍යාජ රබර් මුද්‍රා යෙදීම යන ආදිය කූට ලේඛන සඳහා උදාහරණ වේ.තමන් විසින් ව්‍යාජ ලියවිල්ලක් සකස් කිරීම පමණක් නොව වෙනත් අයෙකු විසින් සකසන ලද ව්‍යාජ ලියවිලි භාවිතා කිරීම ද වරදක් වන්නේ ය. එම නිසා ව්‍යාජ ලියවිලි සැකසීම සහ භාවිතා කිරීම අපරාධ නීතිය යටතේ වැරදි දෙවර්ගයක් බව පෙනේ. එහෙයින් යමෙකු ව්‍යාජ ලියවිලි සාදා භාවිතා කළහොත් වැරදි දෙකක් යටතේ වරදකරුවකු වනු ඇත. එසේම ව්‍යාජ ලියවිලි සෑදීම සදහා අනුබල දීමද වරදක් වේ. එවැනි වරද සඳහා වරදකරුවකු වන පුද්ගලයකු සිරගත කිරීමකට හෝ දඩයකට හෝ එකී දණ්ඩන ද්විත්වයටම යටත් කිරීමේ හැකියාවක් ඇත.

තත්ත්වය දරුණු වන්නේ එමගින් පමණක් නොවේ. විදේශයක හෝ වෙනත් ආයතනයක හෝ අධ්‍යාපනික කටයුත්තකට රැකියාවකට බඳවා ගැනීමේදී, ඔබ කූට ලේඛනය නම් වරදට හසු වී ඇති බව දැනගත් විට, ඔබ ඉදිරිපත් කරන ලේඛන කොතරම් සත්‍ය වුවද ඒවා සැකයට භාජනය වනු නොඅනුමානය. යහපත් අනාගතයක් උදා කර ගැනීම සඳහා රැකියාවකට යාමට ව්‍යාජ ලියකියවිලි සාදාගත් ඔබ ඒ හේතුව නිසාම අපරාධ වරදකට වරදකරුවකු වේ. එම නිසා වැඩිදුර නොසිතා කරන සුළු කටයුත්තක් පවා ඔබගේ අනාගත අඳුරු කිරීමට දායක විය හැකි බව සිහි තබාගත යුතුය. එසේ හෙයින් තාවකාලික වාසි තකා ව්‍යාජ ලේඛන සෑදීම හෙවත් කූට ලේඛනයෙන් වැළකී සිටීම මැනවි.

Related Articles