රැකියාවේ දී සිදුවන අනතුරු සඳහා වන්දි ලබා ගැනීම පිළිබඳ නීතිය
මූලික වශයෙන් අනතුරු සඳහා වන්දි ලබා ගැනීම පිළිබඳව ඉංග්‍රීසි නීතිය මගින් නවීකරණය වූ රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක වුවද, කම්කරුවන්ට සිදුවන අනතුරු සඳහා වන්දි ලබා ගැනීම සම්බන්ධව 1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත වැදගත් වේ. කෙසේ වුවද අවශ්‍ය නම් සාමාන්‍ය දිලික්ත නීතිය යටතේ වුවද නෛතික සහනයක් ලබා ගැනීමේ බාධාවක් නැත. දිලික්ත නීතිය යනු අලාභ සඳහා වන්දි ලබා දෙන නීති ප්‍රභේදයකි. දිලික්ත නීතිය යටතේ සහනයක් බලාපොරොත්තු වන අනතුරට පත්වූ සේවකයෙකු වේ නම් ඔහු විසින් පහත කරුණු ඔප්පු කිරීමට අවශ්‍ය වේ.
- ස්වාමියා හෙවත් සේව්‍යයා විසින් සිය සේවකයින්ට ආරක්ෂිත සේවා වටපිටාවක් පවත්වාගෙන යාමේ වගකීම පැහැර හරිමින් අනතුරුදායක පරිසරයක් පවත්වාගෙන යාම
- සේව්‍යයාගේ නොසැලකිලිමත් පාලනය නිසා අනතුර සිදු වූ බව
නමුත් ඉහත කරුණු වලට එරෙහිව සේව්‍යයා හට පහත කරුණු විත්තිවාචක ලෙස ඉදිරිපත් කළ හැකිය
- එම අනතුර සම්පූර්ණයෙන්ම සේවකයාගේ නොසැලකිලිමත් බව මත සිදු වූ බව
- තමා ගේ නොසැලකිලි කමක් ඇති මුත් සේවකයාගේ ද නොසැලකිලිමත් බවක් ඇති නිසා 'සහයක නොසැලකිල්ල' මත මුදල අඩු කර ලබාදෙන ලෙස.
මෙහිදී සිදු වූ හානියේ ප්‍රමාණය අධිකරණයේදී ඔප්පු කිරීමෙන් වන්දි ලබාගැනීමේ හැකියාවක් තිබේ.
කෙසේ වුවද කම්කරුවන් හට සිදුවන අනතුරු සඳහා විශේෂයෙන් බලාත්මක කරන ලද 1934 අංක 19 දරන කම්කරු වන්දි ආඥා පනත මේ සම්බන්ධව ඇති ව්‍යවස්ථාපිත නීතිය වේ.
ආඥා පනතට අනුව සේව්‍යයා යන්න පහත පරිදි දක්වා ඇත.
- ශ්‍රී ලංකා ජනරජය ( සන්නද්ධ සේවා ඇතුලත් නොවේ)
- පුද්ගලයින්ගෙන් සැදුම්ලත් සංස්ථාවක් හෝ සංස්ථාපිත නොවූ ආයතනයක්
- සේවා යෝජකයාගේ කළමණාකරන නියෝජිත
- සේවා යෝජකයා මරණයට පත්ව ඇති විට ඔහුගේ උරුමකරුපොල්මඃකරු අද්මිනිස්ත්‍රාසිකරු
- වෙනත් අයෙකුට සේවකයාගේ සේවය ලබා දෙන ලද නමුත් ප්‍රධාන ස්වාමියා
මේ අනුව රැකියාවට අදාළව සිද වූ අනතුරකදී ඉහත සඳහන් සේව්‍යයන්ගෙන් වන්දි ඉල්ලා සිටීමේ හැකියාවක් ඇත. එසේ වන්දි ලබා දෙනුයේ පහත වපසරියට අදාල අනතුරු සඳහා පමණි.
- පෞද්ගලික තුවාලයක් සිදුවී තිබීම.
- පනත යටතට ගැනෙන කම්කරුවකු වීම.
- තුවාලය අහඹු ලෙස සිදු වූවක් වීම.
- අනතුර රැකියාවෙන් පැන නැගුණු අනතුරක් වීම.
- අනතුර රැකියා ක්ෂේත්‍රය තුළ දී සිදුවීම.
ඉහත සඳහන් කරුණු වලට අදාළ අනතුරක් මගින් පහත් ආකාරයේ හානි සිදුවිය හැකිය.
- තාවකාලික අකර්මණ්‍යතාව
- ස්ථිර අර්ධ අකර්මණ්‍යතාව
- ස්ථිර පූර්ණ අකර්මණ්‍යතාව
- මරණය
තාවකාලික අකර්මණ්‍යතාවය දින තුනක් හෝ ඊට වඩා අඩු වන විටදී වන්දි මුදලක් ලැබීමට හිමිකම් නොලබයි. ස්ථිර අර්ධ අකර්මණ්‍යතාව යනු එක් ඇසක් අහිමි වීම පාදයක් අහිමි වීම වැනි ශාරීරික හැකියාවකින් යම් ප්‍රමාණයක් අහිමි වීම වේ. සම්පූර්ණයෙන්ම දෑස් අන්ධ වීම, කන් ඇසීම නැතිවී යාම වැනි අවස්ථා ස්ථිර පූර්ණ අකර්මණ්‍යතා ගණයට වැටේ. කම්කරුවකුගේ මරණය සිදු වූ විට යැපෙන්නන්ට වන්දි ලබා ගත හැකිය. මෙම එක් එක් අකර්මණ්‍යතාව සඳහා පනතෙන් විවිධ වන්දි ප්‍රභේද නිර්දේශ කර ඇත.
කෙසේ වුවත් වන්දි ගෙවීම් බැහැර කරන අවස්ථා ලෙස,
- සම්පූර්ණ හෝ අර්ධ අකර්මණ්‍යතාවය දින තුනක් හෝ ඊට වඩා අඩුවන විට දී හෙවත් සුළු තුවාල වල දී
- මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති විට අනතුර සිදු වූ විට
- සේවකයින්ගේ ආරක්ෂාව සඳහා පමුණුවන ලද නීතියට අවනත නොවී සිටීම නිසා අනතුර සිදු වූ විට
- සපයා ඇති ආරක්ෂක උපකරණ භාවිත නොකිරීම යන කරුණුවල දී වේ.
රැකියා කටයුතුවල යෙදීම නිසා ඇති වන රෝග සඳහාද පනතේ ප්‍රතිපාදන වලට යටත්ව වන්දි ලබාගැනීමේ හැකියාවක් ඇත.
කෙසේ වෙතත් අනතුර නිසා මරණය සිදු වී නම් යැපෙන්නන්ට අනිවාර්යෙන් වන්දි ලැබේ.
